
2. කළමනාකරණ ධූරාවලිය ට අනුව තොරතුරු (Information according to Management Hierarchy)
ආයතනයක කළමනාකරණ ධූරාවලිය ප්‍රධාන මට්ටම් තුනක් ඔස්සේ හඳුනා ගත හැකිය. උපායශීලී කළමනාකරණ මට්ටම, උපක්‍රමික කළමනාකරණ මට්ටම සහ මෙහෙයුම් / ක්‍රියාශීලි කළමනාකරණ මට්ටම යනුවෙන් ආයතනික කළමනාකරණ මට්ටම් වර්ග කළ හැකිය. මෙම එක් එක් කළමනාකරණ මට්ටම්වල සිටින කළමනාකරුවන් ගේ කටයුතු වලට අවශ්‍යවන තොරතුරුවල ස්වභාවය සාපේක්ෂ ව වෙනස් වෙයි. මේ අනුව, උපායශීලි තොරතුරු,උපක්‍රමික තොරතුරු සහ මෙහෙයුම් / ක්‍රියාකාරි තොරතුරු යනුවෙන් තොරතුරු වර්ග කල හැකිය.මීළඟට මෙම එක් එක් තොරතුරු වර්ගය සහ ඒවායේ ස්වභාවය උදාහරණ සහිතව පැහැදිලි කර ගනිමු.
ආයතනයක ඉහළ / අග්‍ර/ අධි/ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් විසින් උපායශීලි / දිගුකාලීන සැලසුම් සකස් කිරීම සඳහා මෙම උපායශීලී තොරතුරු විශේෂයෙන්ම භාවිතා කරනු ලැබේ.විශාල වශයෙන් බාහිර මූලාශ්‍ර වලින් මේවා ලබා ගැනීම, ඉතා පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය වීම, පුරෝකථන ලෙස බොහෝ විට යොදා ගැනීම, නිතර නිතර භාවිතා නොවීම, වඩාත් සාරාංශ ගත වීම, නිශ්චිත නොවීමවැනි ලක්ෂණ හෙවත් ගුණාංග මෙවැනි උපායශීලී තොරතුරු වල විශේෂයෙන්ම දැකිය හැකිය.
උදා :- ආයෝජන ඇගයීමේ තොරතුරු, ප්‍රාග්ධන අයවැය තොරතුරු, ලාභදායිත්ව වාර්තා, මුදල් ප්‍රවාහ, නව වෙළඳපොළ තොරතුරු
ආයතනයක සිටින මධ්‍යම කළමනාකරුවන් / උපක්‍රමික කළමනාකරුවන් විසින් උපක්‍රමික සැලසුම් සකස් කිරීම සඳහා විශේෂයෙන්ම මෙම තොරතුරු වර්ගය භාවිතා කරනු ලැබේ. අභ්‍යන්තරික පරාසයක් තුළ ව්‍යාප්ත වීම, ආසන්න කාල සීමාවක් කෙරෙහි යොමු වීම, අඛණ්ඩව ලබා ගැනීම, තරමක් දුරට නිශ්චිතවීම වැනි ලක්ෂණ මෙම උපක්‍රමික තොරතුරු වල විශේෂයෙන්ම දක්නට ලැබේ. විකුණුම් විශ්ලේෂණ වාර්තාවන්, විචලන වාර්තාවන්, අයවැය ප්‍රකාශන, තොග වාර්තාවන්, මිලදී ගැනීමේ අවශ්‍යතා, ශ්‍රම පිරිවැටුම් සංඛ්‍යාලේඛන, පර්යේෂණ හා සංවර්ධන තොරතුරු, මිනිස් බල සැලසුම් යනාදිය උපක්‍රමික තොරතුරු වලට උදාහරණ කිහිපයකි.
ආයතනයක පහළ පෙළ / සුපරීක්ෂණ / කණිෂ්ඨ කළමනාකරුවන් විසින් ආයතනයේ එදිනෙදා කටයුතු සිදුකර ගෙන යාම සඳහා යොදා ගනු ලබන තොරතුරු මෙහෙයුම් තොරතුරු නම් වේ. විශාල වශයෙන් අභ්‍යන්තරික මාර්ගවලින් ලැබීම, ඉතා පටු පරාසයකට සීමා වීම, ඉතා නිශ්චිත වීම, විස්තරාත්මක වීම, ඉතා මෑත කාලයකට සම්බන්ධ වීම, නිතර නිතරම භාවිතා වීම, වැනි ලක්ෂණයන් මෙම ක්‍රියාකාරි තොරතුරු වල විශේෂයෙන්ම දක්නට ලැබේ. වැටුප් විස්තර, තොග විස්තර, ණය ගැති විස්තර, ණය හිමි විස්තර, භාණ්ඩ බෙදා හැරීමේ උපලේඛන, පාරිභෝගික පැමිණිලි, යන්ත්‍ර නඩත්තු කිරීමේ විස්තර, භාණ්ඩ ඇනවුම් විස්තර යනාදිය මෙවැනි මෙහෙයුම් තොරතුරු වලට නිදසුන් කිහිපයක් වේ.
කළමනාකරණ මට්ටම්වලට අදාළව විශේෂිත ආකාරයෙන් ඉහත පරිදි තොරතුරු වර්ග කරනු ලැබුවත්, ප්‍රායෝගිකව ඉහත සෑම තොරතුරු වර්ගයක්ම සෑම කළමනාකරුවකුට ම පොදුවේ යම් යම් අවස්ථාවලදී ප්‍රයෝජනවත් විය හැකිය. එලෙසම සමස්ත ආයතනික පරමාර්ථ සහ අරමුණු ඉටු කර ගැනීමේදී මෙම එක් එක් තොරතුරු වර්ගය අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධීකරණය කිරීම ඉතා වැදගත් වේ.