තොරතුරු පද්ධති පිළිබඳ චින්තනය


1980 දශකය පමණ වන තෙක්ම කළමනාකරුවන් විසින් තොරතුරු පද්ධති පිළිබඳව උනන්දුවක් නොදක්වන ලදි. එකල සංවිධාන කළමනාකරුවන් විසින් තොරතුරු රැස්කිරීම, සැකසීම හා ඒවා බෙදා හැරීම පිළිබඳවත් තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම පිළිබඳවත් ඉතා අඩු උනන්දුවක් යොමු කරන ලදි. ඒ අනුව සංවිධානවලට තොරතුරු එතරම් වැදගත් සම්පතක් ලෙස සලකනු නොලැබීය. කළමනාකරණ කටයුතු පුද්ගලයන් සමඟ මුහුණට මුහුණලා කරනු ලබන කලාවක් ලෙස සලකනු ලැබූ අතර විශ්වීය වශයෙන් කළමනාකරණ කටයුතුවල භාවිතයන් සම්බන්ධීකරණය කිරීමට කළමනාකරුවන් විසින් ප්‍රයත්න දරණු නොලැබීය.

නමුත් අද සෑම කළමනාකරුවෙකු ම පාහේ තම සංවිධාන කටයුතු වලදී තොරතුරු හා තොරතුරු පද්ධති ඉතා වැදගත් සම්පතක් ලෙස සලකා ඒවා නිතරම භාවිතා කරනු ලැබේ. 

වර්තමානයේ දී ව්‍යාපාරික පරිසරය (Business Environment) දැඩි තරඟකාරිමය ස්වභාවයක් පෙන්නුම් කරන අතර, මේ සඳහා ඍජුවම බලපා ඇති කැපී පෙනෙන වෙනස්කම් කිහිපයකි ඒවා නම්,

✔ ලෝක ආර්ථිකයෙහි වෙනස් වීම
(Emergence of the Global Economy)

✔ කාර්මික ආර්ථිකයන් ගේ පරිවර්තනය
(Transformation of Industrial Economies)

✔ ව්‍යාපාරික ආයතනවල පරිවර්තනය
(Transformation of Business Enterprises)

තොරතුරු වර්ගීකරණය

1. මූලික කළමනාකරණ කාර්යයන්වලට අනුව තොරතුරු වර්ග
(Types of information according to basic managerial functions )

සැලසුම් කිරීම, මෙහෙයුම් සහ පාලනය නැමැති මූලික කළමනාකරණ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ තොරතුරු වල ස්වභාවය අනුව මේ යටතේ තොරතුරු වර්ග කරනු ලැබේ. මේ අනුව, සැලසුම්කරණ තොරතුරු, මෙහෙයුම් තොරතුරු සහ පාලනමය/ පාලනීකරණ තොරතුරු යනුවෙන් තොරතුරු වර්ග තුනක් හඳුනා ගත හැකිය.

✴️ සැලසුම්කරණ තොරතුරු (Planning Information)

සැලසුම් සකස් කිරීම සඳහාත්, විකල්ප ක්‍රියා මාර්ගයන් සලකා බැලීම සඳහාත් අවශ්‍ය කරන තොරතුරු සැලසුම්කරණ තොරතුරු වශයෙන් හැඳින්වේ. සැලසුම්කරණය යන්න අනාගත අවිනිශ්චිත තත්වයන් කෙරෙහි යොමු වන බැවින් සැලසුම්කරණ තොරතුරු ද ඉදිරි අවිනිශ්චිත තත්වයන් හා සම්බන්ධ වේ. නමුත් මෙම සැලසුම්කරණ තොරතුරු අතීත දත්ත මත පදනම් විය හැකිය. පුරෝකථන / භාවිකථන තොරතුරු, සංයුක්ත / ආයතනික සැලසුම්කරණ තොරතුරු, ව්‍යාපෘති ඇගයීමේ/ ආයෝජන ඇගයීමේ තොරතුරු, අයවැය ආකෘතීන්, වෙළඳපොල පර්යේෂණ තොරතුරු, නිෂ්පාදිත සැලසුම් තොරතුරු යනාදිය වැදගත් සැලසුම්කරණ තොරතුරුවලට උදාහරණ කිහියකි.

✴️ මෙහෙයුම් / ක්‍රියාකාරි තොරතුරු (Operating / Operational Information)

ආයතනයක දෛනික කටයුතු සිදු කර ගෙන යාම සඳහා අවශ්‍ය තොරතුරු මින් අදහස් වේ.ඒ අනුව මෙම ක්‍රියාකාරි තොරතුරු ආයතන තුළ නිතර නිතර ම අඛණ්ඩව භාවිතා වේ. විකුණුම් ඉන්වොයිෂ් තොරතුරු, භාණ්ඩ ලැබීමේ තොරතුරු, දෛනික නිෂ්පාදන උපලේඛන විස්තර, සේවක පැමිණීමේ සටහන්, තොග ලේඛන විස්තර යනාදිය වැදගත් මෙහෙයුම් තොරතුරු වලට නිදසුන් කිහිපයක් වේ.

✴️ පාලනමය / පාලනීකරණ තොරතුරු (Control / Controlling Information)

අපේක්ෂිත ඉලක්කයන් සහ සත්‍ය ප්‍රතිඵල අතර සංසන්දනයන් දැක්වෙන තොරතුරු පාලනමයතොරතුරු මඟින් සපයනු ලැබේ. මේ අනුව, ආයතනයක් විසින් මුහුනපානු ලබන විවිධ ගැටළු සහගත අවස්ථා සහ විසඳුම් ශිල්පක්‍රම වලට අදාල තොරතුරු සමඟ මෙම පාලනමය තොරතුරු සම්බන්ධවේ. පිරිවැය විචලන වාර්තා, කාරක ප්‍රාග්ධන ප්‍රකාශන, ණය පාලන තොරතුරු, සේවක අතිකාල වැඩ සංඛ්‍යාලේඛන, අනුපාත විශ්ලේෂණ යනාදිය වැදගත් පාලනමය තොරතුරු වලට උදාහරණ කිහිපයක් වේ.

ඉහත පරිදි මූලික කළමනාකරණ කටයුතු වලට අදාළව තොරතුරු වර්ග කරනු ලැබුවත්, මෙම එක් එක් තොරතුරු වර්ග අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වන බැව් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. බොහෝ සැලසුම්කරණ තෙරතුරු සඳහා පදනම දමනු ලබන්නේ මෙහෙයුම් තොරතුරු වෙයි. අප විසින් මෙහෙයවනු ලබන්නේ හා පාලනය කරනු ලබන්නේ සකස් කරන ලද සැලසුම් වේ. ඒවගේම, බොහෝ පාලනමය තොරතුරු සඳහා පදනම ලබා දෙන්නේ මෙහෙයුම් තොරතුරු ම වෙයි.


Related Articles