Breaking
Loading...
සමුගන්නට අවසරයි Google+

සමුගන්නට අවසරයි Google+

අද වනවිට සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ අපි හැමෝම අපගේ විවේක කාලය ගත කරන්න භාවිතා කරන මෙවලමක් බවට පත්වෙලා. සමාජ ජාල වෙබ් අඩවි කිව්වම ගොඩක් අය දන්නේ Facebook Instagram සහ Twitter කියන නම් කිහිපයයි. ඒ වගේම Google plus, එහෙමත් නැතිනම් Google+ කියලා හඳුන්වන සමාජ ජාල වෙබ් අඩවියකුත් තිබෙනවා කියලා සමහරවිට ඔබ දන්නවා ඇති. අහලා හරි ඇති. ඒත් ඔබ මේ Google+ භාවිතා කරලා තියේද? ෆේස්බුක් එකට වගේ නිතර log වෙලා ෆොටෝස් දාලා යාළුවො එක්ක chat කරලා තියෙනවද? නෑ නේද? අන්තිමට Google+ එකට ගියේ කවද්ද කියලවත් මතකද? ඒත් නෑ නේද?


ඔව් එහෙම තමයි. අපි ගොඩක් අය අඩුවෙන්ම භාවිතා කරන, එහෙමත් නැතිනම් භාවිතා කරන්නෙම නැති සමාජ ජාල වෙබ් අඩවියක් තමයි Google+ කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්න අපි විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල අඩුවෙන්ම භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවියක් බවට මේ Google+ පත්වෙලා ඉවරයි. ඉතින් ඒ නිසාම Google+ කියන සමාජ ජාල වෙබ් අඩවිය වහලා දාන්න මෙහි හිමිකාරීත්වය දරන Google සමාගම තීරනය කරලා තියනවා. මේ තීරණය ඔවුන් අද ඊයේ ගත්ත එකක් නම් නෙවෙයි. ඔවුන් Google+ වහන්න සිදුවේවි කියලා ඉඟි පළකලේ 2018 ඔක්තෝබර් මාසයේදීයි.

Google කියන්නේ වසර ගණනක් මුළුල්ලේ ලොවපුරා විවිධ තොරතුරු තාක්ෂණික නිර්මාණ, මෙවලම් සහ සේවා සකසමින් සිටින ආයතනයක්. සමාජ ජාල වෙබ් අඩවි වල ජනප්‍රියතාවය නිසා ඔවුනුත් කල්පනා කරා Google නාමය යටතේ සමාජ ජාල වෙබ් අඩවියක් පටන් ගන්න. වරක් Google සමාගම ෆේස්බුක් සමාගම මිළට ගන්න උත්සාහ කලත් එය සාර්ථක වුනේ නැහැ. මේ නිසා ඔවුන් ඔවුන්ගේම නමක් යටතේ Google+ කියලා සමාජ ජාල වෙබ් අඩවියක් නිර්මාණය කරා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි 2011 දී Google සමාගම විසින් Google+ ආරම්භ කරනු ලැබුවේ එකල ජනප්‍රිය වෙමින් පැවතුන ෆේස්බුක් සහ ට්විටර් සේවා වලට අභියෝගයක් දීමට.

Google කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ Google සෙවුම් යන්ත්‍රය සහ Gmail සේවාවයි. ලොව පුරා බොහෝ දෙනෙක් තාම email සේවාව ගන්නේ Google හරහා. ඉතින් මෙසේ Gmail එකක් සාදාගන්නා ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් Google+ සේවාව ලබාගත හැකි වන අයුරින් Google සමාගම කටයුතු සකස් කරා. ආරම්භක යුගයේ තරමක් ජනප්‍රිය වුනත් පසුකාලීනව මෙම Google+ සේවාව ෆේස්බුක් තරම් ප්‍රසිද්ධ සහ ජනප්‍රිය වුනේ නැහැ.

කෙසේ නමුත් අවුරුදු කිහිපයක් මුළුල්ලේ Google+ සේවාව ඇදගෙන ඒමට Google කටයුතු සිදුකලත් ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2018 මාර්තු මාසයේදී Google+ හි සිදුවූ දත්ත කාන්දු වීමකින් Google+ පරිශීලකයින් ලක්ෂ පහකගේ (500,000) පමණ නම්,ලිපින,දුරකථන අංක ආදී සංවේදී දත්ත වෙනත් පාර්ශවයන් අතට ගියා. මේ පිළිබඳව මුල් වරට හෙළිදරවු කරන ලද්දේ The Wall Street Journal පුවත්පත විසිනුයි. නමුත් Google සමාගම මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේ එසේ දත්ත කාන්දුවීමක් වී කිසිවෙකුගේ පුද්ගලිකතත්වයට හානි නොවූ බවයි.

අවාසනාවට වගේ Google සමාගමට නැවත මුහුණ දීමට සිදුවුයේ තවත් අකරතැබ්බයකටයි. ඒ 2018 වසරේදීම නැවත වරක් මෘදුකාංග යාවත්කාලීන කිරීමකදී Google+ පරිශීලකයින් මිලියන 52ක email ලිපින,මුරපද ආදී සංවේදී දත්ත රාශියක් තුන්වන පාර්ශවයන් අතට පත්වීමයි. මෙම සිදුවීමෙන් නම් Google සමාගමට ලොකු නරක නාමයක් අත්වුනා තමන්ගේ පරිශීලකයින්ගේ පුද්ගලිකත්වයට හානි සිදුවෙන ලෙස කටයුතු කළා කියලා. ඉතින් මෙන්න මේ ප්‍රධාන හේතුව නිසා Google සමාගම තීරණය කළේ Google+ සේවාව නවතා දැමීමටයි.



හැබැයි මේ ආරක්ෂන කටයුතු වල දුර්වලතාවය පමණක්ම නෙවෙයි Google+ වහන්න හේතු වුනේ. කලින් සඳහන් කල විදියට අඩු පරිශීලක ආකර්ෂණය සහ භාවිතයත් මීට හේතු සාධක වුනා. 2015 දී ලෝකප්‍රකට ෆොර්බ්ස් සඟරාව කල සමීක්ෂණයකින් හෙළිවුණේ Google+ හි ගිණුම් මිලියන 111ක් තිබුනද ඉන් මිලියන 6.7 ක් තරම් සුළු ප්‍රමාණයකට පමණයි පොස්ට් 50ක් වත් අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒ වනවිට ෆේස්බුක් හි දිනකට බිලියන 1.5 ක ක්‍රියාකාරී සාමාජික සංඛ්‍යාවක් සිටියා. ඉතින් මෙවැනි පසුබිමක තමයි Google සමාගම 2018 වසරේදී තීරණය කරන්නේ Google+ සේවාව නවතා දමනවා කියල. ඔවුන් මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දුන්නේ 2019 පෙබරවාරි 01 දායි.

එම දැනුම් දීමට අනුව 2019 පෙබරවාරි 04 සිට නව Google+ ගිණුම් නිර්මාණය කරන්න බැහැ. එමෙන්ම දැනට පවතින සියලුම Google+ ගිණුම් ද 2019 අප්‍රේල් 02 දා සිට වසා දමා Google+ සේවාව සම්පූර්ණයෙන්ම අත්හිටුවා දමනවා. Google සමාගම දැනුම් දෙන්නේ ඊට පෙර ඔබගේ Google+ ගිණුමේ ඇති වැදගත් දත්ත බාගත කරගන්නා ලෙසයි. තවද ඔබ Google+ හරහා වෙනත් වෙබ් අඩවි වල ලියාපදිංචි වී ඇත්නම් ඒවාද වෙනස් කරගන්නා ලෙසයි.

නමුත් Google+ සේවාව නැවතුනාට ඔබගේ Gmail ගිණුම හෝ Google Photos හි තිබෙන පින්තූර වලට හානියක් සිදුවන්නේ නැහැ. ඔබත් Google+ සේවාව ලබාගෙන තිබේ නම් දැන්ම ඔබගේ ගිණුමේ ඇති වටිනා දත්ත වහාම save කරගන්න.

පහත ලින්ක් භාවිතා කිරීමෙන් ඔබටත් ඔබගේ Google+ ගිණුමේ විස්තර දැනගැනීමට සහ ඒවායේ අඩංගු වැදගත් දෑ save කරගැනීමට හැකිය.

https://support.google.com/plus/answer/1045788
https://support.google.com/plus/answer/9217723#signin
https://plus.google.com/

අවසාන වශයෙන් අපිට මෙම සිදුවීම සමඟ කිව යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි කොතරම් බලවත් වුනත් ජනප්‍රිය වුනත් වැඩක් නැහැ ඒ වටා සිටින පිරිස, එහෙමත් නැති නම් පරිශීලකයින් සංඛ්‍යාව සහ ඔවුන් ඊට දක්වන ලැදියාව අනුව තමයි යම් දෙයක වටිනාකම සහ පැවැත්ම රඳා පවතින්නේ. කෙසේ හෝ අවසානයේ Google+ ටත් සිදුවූයේ තාම ජීවන ගමන නවතා ඉතිහාසයට එකතු වීමටයි.


0 Comments: