Breaking
Loading...
Facebook භාවිතා කරන ඔබ නොකළ යුතු දේවල්

Facebook භාවිතා කරන ඔබ නොකළ යුතු දේවල්

Facebook කියන්නේ අපි හැමෝම අද කාලේ භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවියක්. 2004 දී ආරම්භ වුන මෙය දැන් ලොව පුරා මිලියන ගණනක් පුද්ගලයින් භාවිතා කරන මෙවලමක් බවට පත්වෙලා හමාරයි. මෙහි ඇති ජනප්‍රියතාවය නිසාම බොහෝ දෙනා අඩු වයසින් පවා Facebook එකට සම්බන්ධ වෙනවා. මිතුරන් හඳුනා ගැනීමට, දැනුම බෙදා ගැනීමට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා ද භාවිතා කල හැකි Facebook හොඳට මෙන්ම නරකටද බලපාන්න පුළුවන්. බොහෝ විට එවැනි කරදර ප්‍රශ්න ඇති වන්නේ Facebook වල ඇති වරදක් නිසා නොව එය භාවිතා කරන අයගේ ඇති නොසැලකිල්ල සහ Facebook ගැන අවබෝධය සහ දැනුම අඩුකම නිසයි.


ඉතින් අපි මේ කියන්න යන්නේ ඔබ Facebook භාවිතා කරනවා නම් ඔබගේ සහ ඔබගේ සමීපතයන්ගේ ආරක්ෂාවට කල යුතු දේවල් කිහිපයක් ගැනයි. බලන්න ඔබත් මේවා කරලා තියෙනවද කියල ? එහෙම නැත්තන් මේ දේවල් කරලා Facebook තුල ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න.

1. අනවශ්‍ය ලෙස ඔබේ ඡායාරූප එකතු කරන්න එපා.

ඔබ ගැහැණු ළමයෙක් නම් Facebook එකට අනවශ්‍ය ලෙස ඔබේ පින්තූර එකතු කරන්න එපා. බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා ගමනක් ගියත්,කෑමක් කෑවත්,නිදාගෙන නැගිට්ටත්,අලුත් ඇඳුමක් ඇන්දත් ෆොටෝ එකක් අරගෙන Facebook දාන්න. එය එච්චර හොද දෙයක් නෙවේ. මොකද ඔබේ තරහකරුවෙක්ට පුළුවන් එම ෆොටෝ අරන් විකෘති කරලා Facebook හෝ අන්තර්ජාලයට දාන්න. විශේෂයෙන්ම තනි තනි ෆොටෝ දැමීමෙන් ඔබට විය හැකි හානිය වැඩි අතර ඔබ තවත් අය සමඟ කණ්ඩායම් වශයෙන් සිටින ෆොටෝ දැමීමෙන් ඒවා වෙනස් කරන්න විකෘති කරන්න තියෙන හැකියාව අඩුයි.

2. ඔබේ පුද්ගලික තොරතුරු සැමටම දැකිය හැකි ලෙස දමන්න එපා.

Facebook එකට ඔබේ සම්පූර්ණ නම, දුරකථන අංකය, නිවසේ ලිපිනය, පවුලේ අයගේ විස්තර, ඔබගේ සම්බන්ධතා ගැන දාන්න පුළුවන්. හැබැයි එම විස්තර Public ආකාරයෙන් නොයොදා ඔබගේ මිතුරන්ට පමණක් දැකිය හැකි ලෙස සකස් කරන්න.

3. ඔබ ඉදිරියේදී කරන්න සිටින දේවල් පිළිබඳ කරුණු ඇතුලත් කරන්න එපා.

බොහෝ අය Facebook එකේදී කරන දෙයක් තමයි තමන් හෙට,අනිද්දා එහෙමත් නැත්තන් ලබන සතියේ ලබන මාසේ කරන්න ඉන්න දේවල්, යන්න ඉන්න ගමන් බිමන් ගැන සඳහන් කරලා දාන එක. එවැනි දේවල් යෙදීමෙන් ඔබගේ තරහකාරයෙක්ට පුළුවන් ඔබට විරුද්ධව කිසියම් දෙයක් කරන්න.
උදාහරණයක් වශයෙන් ඔබ ලබන මාසේ පිටරට සවාරියක් යන්න සූදානම් වී ඉන්නවා නම් ඒ ගැන පොදුවේ Facebook එකේ දැනගන්න දාන්න එපා. මොකද ඔබේ තරහාකාරයෙක්ට හෝ ඉරිසියාකාරයෙක්ට පුළුවන් ඔබට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් කරන්න බොරුවට හරි. එවැනි දෙයකට ඔබ පැටලුනොත් ඔබට ලංකාවෙන් පිට යන්න ලැබෙන්නේ නැහැ.

4. ඔබේ සැමියාගේ/බිරිඳගේ/දරුවන්ගේ පින්තූර දමන්න එපා.

ගොඩක් අය කරන දෙයක් තමයි තම පවුලේ අයගේ පින්තූර Facebook එකට දැමීම. එය දැමීම ප්‍රශ්නයක් නොවේ. නමුත් එමඟින් පවා කෙනෙක්ට පුළුවන් ඔබට හානියක් කරන්න. ඔබේ පවුලේ සතුට සමගිය නැති කරලා දාන්න !

5. නිවැරදි නොවන පොස්ට් දැමීම හෝ හුවමාරු කිරීම කරන්න එපා.

Facebook එකට එන හැමදෙනාම තම නිවැරදි Facebook ගිණුම් භාවිතා කර එන්නේ නැහැ. සමහර අය ව්‍යාජ (fake) Facebook ගිණුම් භාවිතා කර විවිධ කළහකාරී වැරදි පුවත් සහ post Facebook එකට යොදනවා. ඔබත් එවැනි හරියටම නොදන්නා තහවුරු කර ගත්තේ නැති දේවල් share කිරීමෙන් වලකින්න. මොකද එකෙන් ඔබට අනිත් අයගේ දෝෂාරෝපණයට ලක් වෙන්න පුළුවන්.

6. නොදන්නා අයව මිතුරන් කරගන්න එපා.

Facebook භාවිතා කරන සමහර අය විවිධ වැරදි අරමුණු සඳහා කටයුතු කරනවා. එවැනි අය බලනවා අනිත් පුද්ගලයිනවා මිතුරු කරගන්න. එසේ ඔබට ලැබෙන මිතුරු යෝජනා (Friend Request) අනුමත (Accept) කරන්න එපා. සෑම විටම ඔබ හොඳින්ම දන්නා අය පමණක් මිතුරන් කරගන්න.

7. අසභ්‍ය පින්තූර සහ වීඩියෝ යොදන්න / හුවමාරු කරන්න එපා.

බොහෝ අය මේ දේ තම Facebook ගිණුම හරහා නොකරත් සමහරවිට චැට් කිරීමේදී කරන්න පුළුවන්. වැඩිහිටියන්ට පමණක් වන දර්ශන වගේ දේවල් Facebook තුල භාවිතා කිරීම සපුරා තහනම්. එවැනි දේවල් ඔබගේ Facebook ගිණුම හරහා හුවමාරු වීමෙන් ඔබගේ චරිතයට හානියක් වෙන්න පුළුවන් වගේම Facebook එකෙන් ඔබව ඉවත් වීමටත් හේතු විය හැකිය.

8. ඔබ මිතුරන් සමඟ කරන විනෝදජනක දේවල් වල පින්තූර යොදන්න එපා.

ඔබ යාළුවන් සමඟ විනෝද චාරිකා ගොස් හෝ සාද වලදී ගන්න කන බොන නටන ෆොටෝස් Facebook එකට දාන්න එපා. එවිට ඔබ ගැන සොයා බලන අයට, ඔබව ආශ්‍රය කරන අය අතර ඔබගේ චරිතය හානි වෙන්න පුළුවන්.

9. දුරකතනයෙන් App එක හරහා Facebook භාවිතා කරන්න එපා.

බොහෝ අය අද පුරුදු වෙලා ඉන්නේ තම ස්මාර්ට් දුරකතනයෙන් Facebook භාවිතා කරන්නයි. ඒ සඳහා ගොඩක් වෙලාවට Facebook App එක යොදාගන්නවා. එමඟින් එක් වරක් සම්බන්ධ වූ පසුව ඔබට නැවත නැවත username සහ password යොදමින් log වෙන්න අවශ්‍ය නැහැ. ඉතා පහසුවෙන් ඔබට app එක click කිරීම හරහා Facebook භාවිතා කරන්න පුළුවන්. නමුත් නිකන්වත් සිතුවාද හදිස්සියේවත් ඔබගේ අතින් දුරකථනය නැති වුවහොත් ඔබගේ සියලුම පුද්ගලික තොරතුරු සහ ෆොටෝස් අන් කෙනෙක් අතට පහසුවෙන්ම යන බව ?

10. ඔබේ සිතේ ඇතිවන සියලු දේ ගැන පවසන්න එපා.

ඔබට දුකක්, තරහක්, සතුටක් වගේ ඕනෑම දෙයක්, හිතෙන දැනෙන දේවල් සියල්ල Facebook එකට post කරන්න වගේම අන් අය සමඟ අනවශ්‍ය ලෙස චැට් කිරීමෙන් හෝ පවසන්න එපා. උදාහරණ ලෙස ඔබේ දේශපාලනික , ආගමික, සංස්කෘතිකමය අදහස් අනවශ්‍ය ලෙස ලෝකයට විවෘත කරන්න එපා. කොටින්ම ඔබගේ පවුලේ අයගේ අඩුපාඩු හෝ රැකියා ස්ථානයේ අඩුපාඩු සහ ප්‍රශ්න පිළිබඳව කියන්න එපා. එමඟින් ඔබට තිබෙන ප්‍රශ්න වලට වඩා ප්‍රශ්න ඇතිවිය හැකිය.

එසේ නම් ඔබත් බලන්න Facebook භාවිතා කරවිට මෙවැනි දේවල් කරනවද කියල. එහෙම නම් අදම උත්සාහ කරන්න ඔබගේ ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්න. Post එක වටිනවා කියලා හිතෙනවා නම් අනිත් අයටත් දැකගන්න share කරන්න.