දත්ත සමුදායක් යනු කුමක් ද ? (What is the Database)

දත්ත සමුදායක් යනු “තාර්කිකව සම්බන්ධ වූ රෙකෝඩ (Records) සහ ගොනුවල (Files) අනුකලිත එකතුවකි.” දත්ත සමුදාය සහ දත්ත සමුදාය කළමනාකරණ සංකල්ප වර්ධනය වූයේ ගොනු සැකසීමේදී මතු වූ විවිධ ගැටළු විසඳා ගැනීම සඳහා වේ. පරිගණක පද්ධතිය තුළ වෙන වෙනම පැවති ස්වාධීන ගොනු (Independent Files) ඒකාබද්ධ කොට, යෙදුම් ක්‍රමලේඛ (Application Programs) සඳහා භාවිතා කළ හැකි පොදු දත්ත එකතුවක් ලෙස දත්ත සමුදායන් කටයුතු කරනු ලබයි. දත්ත සමුදායක් තුළ තැන්පත් කර ඇති දත්ත ඒවා භාවිතා කරන පරිගණක ක්‍රමලේඛ (Computer Programs) සහ ඒවා තැන්පත් කර ඇති ද්විතීක ආයාචන උපක්‍රමවලින් (Secondary Storage Devices) ස්වායක්ත වේ.



උදා -: Dbase III plus, Oracle, FoxPro, MS – Access යනාදිය දත්ත සමුදාය කළමනාකරණ මෘදුකාංගවලට උදාහරණ කිහිපයකි.


“සංවිධානවලට සහ අවසාන පරිශීලකයන් හට (End Users) අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා දත්ත සමුදාය නිර්මාණය කිරීම, විමසුම් කිරීම, පවත්වාගෙන යාම සහ ඒවා පාලනය කිරීම ඇතුළත් ක්‍රියාවලිය” දත්ත සමුදාය කළමනාකරණය ලෙස හැඳින්වේ.

දත්ත සමුදාය සැකසීම (Database Processing)


එක් එක් පරිශීලකයන්ගේ යෙදවුම් සඳහා අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීමට ස්වාධීන දත්ත ගොනු භාවිතය සහ යාවත්කාලීන කිරීම (Updating) ගොනු සැකසීම (File Processing) ලෙස හැඳින්වේ. නමුත්, දත්ත සමුදාය සැකසීමේදී මූලික කාර්යයන් තුනක් සම්බන්ධ වේ. 

i. ආයතනයේ නව ගොනුවලට අදාළ දත්ත සමුදාය යාවත්කාල කිරීම සහ පවත්වාගෙන යාම.
ii. පොදු දත්ත සමුදාය තුළ පවතින දත්ත එක් එක් පරිශීලකයන් ගේ තොරතුරු අවශ්‍යතා සඳහා ලබා දීම.
iii. අවසාන පරිශීලකයන් විසින් විටින් විට කරනු ලබන තොරතුරු ඉල්ලීම්වලට ඉක්මන් ප්‍රතිචාර ගත හැකි වන පරිදි විමසුම් ප්‍රතිචාරයන් ලබාදීම.


දත්ත සමුදාය ආචයනය (Database Storage)

දත්ත සමුදාය සැකසීමේ ප්‍රවේශයේදී පොදු දත්ත සමුදායක් වර්ධනය කරනු ලබයි. දත්තවල සම්පූර්ණත්වය, නිවැරදිභාවය, සංගතභාවය, කාර්යක්ෂමතාව, විශ්වාසවන්තභාවය තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. සංවිධානයේ විවිධ වූ යෙදුම් (Applications) සඳහා අවශ්‍ය දත්ත ස්වාධීන ගොනුවල තැන්පත් කරනු වෙනුවට,ඒවා පොදු දත්ත සමුදායන් කිහිපයකට ඒකාබද්ධ කර තැබීම මෙහිදී සිදු වේ.

දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිවල වාසි (Advantages of DBMS)

දත්ත සමුදාය කළමනාකරණ පද්ධති භාවිතා කිරීම තුළින් ආයතන වලට පහත දැක්වෙන වාසි සහ ප්‍රයෝජන ලගාකර ගත හැකි වේ. 

i. දත්ත සමුදාය කළමනාකරණය මඟින් දත්ත අනුපිටපත් වීම (Data Duplication) අවම වන අතර, ක්‍රමලේඛ කිහිපයක් වෙත පරිශීලකයන් කිහිප දෙනෙකුට ප්‍රවේශ විය හැකි වන පරිදි දත්ත අනුකලිත කරනු ලැබේ. 

ii. දත්ත වල ආකෘතිය සහ භාවිතා කරනු ලබන ද්විතීක දත්ත ආචයන වර්ග මත ක්‍රමලේඛයන් (Programs) රඳා නොපවතී. 

iii. පරිගණක ක්‍රමලේඛයන් නැවත ලිවීමකින් තොරව ඉක්මණින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි වන පරිදි විමසුම් ප්‍රතිචාරයන් (Retrieval) ලබාදීම. 

iv. දත්තවල තාර්කික ආකෘතීන් හෝ භෞතිකව දත්ත තැන්පත් කර ඇති ස්ථාන මත ක්‍රමලේඛයන් රඳා නොපවතින බැවින්, පරිගණක ක්‍රමලේඛනය (Computer Programming) පහසු වී ඇත. දත්ත වලට ප්‍රවේශ වීම සහ දත්ත සමුදාය වෙනස් කිරීම DBMS මඟින් පාලනය කරන බැවින්, දත්ත සමුදායක තැන්පත් කර ඇති දත්තවල සම්පූර්ණත්වය, නිවැරදි බව සහ ආරක්ෂාව ඉහළ මට්ටමකින් පවත්වාගෙන යා හැකි වේ.


දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිවල සීමාවන් (Limitations of DBMS)


DBMS වලින් විවිධාකාරයේ වාසි ආයතනයකට ලැබෙනවා සේම, ඒවා සැලසුම් කිරීමේදී, වර්ධනය කිරීමේදී හා පවත්වාගෙන යාමේදී විවිධ සීමාවන් වලට මුහුණ පෑමට ආයතන වලට සිදුවේ. එවැනි වැදගත් සීමාවන් කිහිපයක් පහත දැක්වේ. 

i. ආයතනයක් ඇතුළත විශාල දත්ත සමුදායක් වර්ධනය කිරීම සහ DBMS එකක් පිහිටුවීම දුෂ්කර මෙන් ම පිරිවැය අධික කටයුත්තක් වෙයි. 

ii. ආයතනයේ දත්තවලට සහ DBMS ක්‍රමලේඛ වලට අවශ්‍ය ආචයන ඉඩ ප්‍රමාණය (Storage Space) වැඩි වීම හේතුවෙන් ආයතනයේ පරිගණක සහ දෘඪාංග හැකියාවන් වැඩි කිරීමට සිදු වේ. 

iii. විශාල ප්‍රමාණයේ ගණුදෙනු සැකසුම්, යෙදුම් සැකසුම් සිදු කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම. 

iv. සංවිධාන විසින් අනුකලිත කරනු ලැබූ එක් දත්ත සමුදායක් මත පමණක් යැපීමෙන්, යම් අවස්ථාවකදී එය දෝෂ, වංචා සහ අසමත්වීම් වලට ලක් වීමට ඉඩ තිබේ.

Related Articles