Breaking
Loading...
සියදිවි හානි කරගන්න නොලැබෙන මූණුපොත

සියදිවි හානි කරගන්න නොලැබෙන මූණුපොත

සියදිවි හානි කරගැනීම කියන්නේ අපේ රටේ අද කාලේ බහුලව අහන්න දකින්න ලැබෙන දෙයක්. මීට කාලයකට කලින් නම් මෙය අපේ සමාජයට ආගන්තුක දෙයක් වුනාට දැන් දැන් තරුණ මහලු අය වගේම හය හතර ඉගෙන ගන්නා කුඩා දරුවන් පවා සියදිවි හානි කරගැනීමට පෙළඹෙනවා. අපේ රට මේ වනවිට සියදිවි හානි කරගැනීම් වලින් පවා ඉදිරියට ඇවිත් ඉන්නේ අපිට ආඩම්බර වීමට නම් නෙවේ. ඇත්තෙන්ම එය ලැජ්ජා විය යුතු කාරණයක්. සමාජයේ විවිධ තරාතිරම් වල, විවිධ වයස් කාණ්ඩ වල අය මෙසේ සියදිවි හානි කරගැනීම නැවත්වීමට විවිධ රාජ්‍ය සංවිධාන, ආරක්ෂක අංශ සහ පුද්ගලික ආයතන පවා කටයුතු යොදමින් සිටිනවා. මේ වගේ ලොව පුරාම වසංගතයක් ලෙස පැතිරී යන සියදිවි හානි කරගැනීම වැලක්වීමට අපි හැමෝම දන්නා කට්ටියකුත් ඔන්න අලුත්ම වැඩ පිළිවෙලක් යොදාගෙන යනවා. ඒ තමයි facebook !



Facebook කිව්වම අපි හැමෝම දන්නේ එය සමාජ ජාල වෙබ් අඩවියක් විදියටයි. ඇත්තෙන්ම අද වනවිට ලොව ජනප්‍රියම වෙබ් අඩවිය බවට පත්වෙලා තියෙන මේ facebook නිසාත් ගොඩක් යහපත් දේ මෙන්ම අයහපත් දේත් සිදුවෙනවා. හැබැයි මෙම අයහපත් බොහෝ දේ සිදුවන්නේ facebook වරදින් නෙවෙයි. එය භාවිතා කරන අයගේ තිබෙන නූගත්කම, නොසැළකිල්ල සහ අවභාවිතය නිසයි. ඒ හින්දම සමාජයේ බොහෝ වේලාවට වරදක් වුනාම බනින්නේ facebook එකටයි. කොටින්ම සමහර සියදිවි හානි කරගැනීම් වලටත් facebook හේතු වෙනවා. නුසුදුසු නොගැලපෙන සම්බන්ධතා සහ නුසුදුසු දේවල් එකතු කිරීම, චරිත ඝාතනය කිරීම නිසාත් මෙසේ විවිධ පුද්ගලයින් සියදිවි හානි කරගන්නවා.

එමෙන්ම සියදිවි හානි කරගන්න උත්සාහ කරන අය බොහෝවිට ඒ ගැන සඳහන් කරමින් විවිධ ඉඟි තම facebook ගිණුම තුළ සඳහන් කරන එකත් දැන් අමුතු කලාවක් වගේ වෙලා.

ඉතින් මෙම ගැටළු වලට පිළියමක් ලෙස facebook කණ්ඩායම කෘත්‍රීම බුද්ධිය (AI) යොදාගෙන සියදිවි හානිකරගැනීම් වැළකීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙයට ඔවුන් කියන්නේ Suicide Prevention Pattern Recognition කියලයි. ඒ කියන්නේ ඔවුන් කෘත්‍රීම බුද්ධිය යොදාගෙන තම facebook පරිශීලකයින්ව නිරීක්ෂණය කරනු ලබනවා. විශේෂයෙන්ම සෑම කෙනෙක්ම යොදන post මොනවද, ඒවායේ අන්තර්ගතය කොයි වගේද, එම post වලින් කෙනෙක්ට හානියක් සිදුවෙනවද, සියදිවි හානිකරගනීමට හේතු වන දේවල් තියෙනවද, එසේ post යොදන අය කවුද කියලා ඔවුන්ට වාර්තා වෙනවා. ස්වයංක්‍රීයව එය සිදුවෙනවා මෙන්ම ඔබටත් පුළුවන් තම මිතුරන්ගේ වෙනසක්,ඔවුන් යොදන post ගැන වෙනසක් දැනුනොත් වහාම facebook එකට වාර්තා කරන්න.

facebook හි ඇති මෙම AI ක්‍රමය මඟින් post මෙන්ම comments පවා වාර්තා කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිසියම් කෙනෙකුගේ post එකකට ඔහුගේ/ඇයගේ මිතුරන් comments විදියට "Are you ok?" "Do you wanna help?" වගේ දැම්මත් ඒවා ගැනත් facebook කණ්ඩායම සැළකිලිමත් වෙනවා.



එසේ සැළකිලිමත් වී ඔවුන්ට කිසියම් සැකයක් දැනුනහොත් වහාම ඒ ගැන අදාළ පුද්ගලයාගේ පවුලේ අයට,මිතුරන්ට මෙන්ම අදාළ අංශ වලට දැනුවත් කිරීම කරනවා. එමෙන්ම අදාළ පුද්ගලයාට පෙනෙන දැනෙන පරිදි ජීවිතයේ වටිනාකම ගැන කියවෙන පින්තූර ,වීඩියෝ දර්ශනය කිරීමත් කරනවා.



කෘත්‍රීම බුද්ධියේ ඉතා අනර්ඝ නිර්මාණයක් ලෙස හඳුන්වන මෙය දැනට ඇමරිකාව තුල පරීක්ෂණ මට්ටමේ කරගෙන යනවා. ඉතා නුදුරු කාලයේදී මෙය ලොවපුරා ප්‍රචලිත කිරීමටයි ඔවුන් සැලසුම් කරගෙන ඉන්නේ. මෙම ක්‍රමය මඟින් කොපමණ යහපත් ප්‍රතිපල මේ වනවිටත් ලැබී ඇතිද කිවහොත් දැනටමත් සියදිවි හානි කරගැනීමට තැත්කළ පුද්ගලයින් 100ක් පමණ හඳුනාගෙන වහාම ඔවුන්ව රැකගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම නව තාක්ෂණය සමඟ වැඩ කිරීමට 24x7 පුරා ක්‍රියාත්මක වන facebook කණ්ඩායමක් ද සිටිනවා. ඉතින් මීට පස්සේ ඔබේ මිතුරන්ගේ වෙනසක් , ඔවුන් යොදන post වල වෙනසක් දුටුවහොත් එය විහිළුවක් සේ සළකා ඉන්නේ නැතුව වහාම ඒ ගැන අදාළ පුද්ගලයින් හෝ facebook කණ්ඩායම දැනුවත් කරවන්න.

මේ අලුත්ම feature එක ගැන දැනගන්න මේ ලිපිය share කරන්නත් අමතක කරන්න එපා.