Breaking
Loading...
ඔබේ පරිඝනකය slow ද? එහෙනම් මෙන්න විසඳුම් !

ඔබේ පරිඝනකය slow ද? එහෙනම් මෙන්න විසඳුම් !

පරිඝනකයක් කියන්නේ අද කාලේ ගොඩක් අයට අවශ්‍ය වටිනා දෙයක්. ඉතින් ඒ නිසා ගොඩක් දෙනා පරිඝනකයක් මිලදී ගන්නාවිට සැළකිලිමත් වන කරුණු කිහිපයක් තිබෙනවා. පරිඝනකයේ වර්ගය,වේගය,මතකය වගේ දේවල් තමයි ඒ. නමුත් හොඳම කොටස් සමඟ පරිඝනකයක් මිලදී ගත්තත් ටික දවසක් භාවිතා කරනවිට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම පරිඝනකය හිතාගන්න බැරි විදියට slow වීම, අඩපණ වීම් වැනි දෑ සිදු වෙනවා. ඉතින් එතකොට ගොඩක් දෙනෙක් කරන්නේ තමන් පරිඝනකය ගත්ත තැනට උස්සන් යන එක. එයාලත් ඔබෙන් මුදල් අය කරලා ඔන්න පරිඝනකය නැවත යථා තත්වයට පත් කරලා දෙනවා. හැබැයි ටික දවසක් භාවිතා කරද්දී නැවත මුලින් වුන දේම තමයි සිද්ධ වෙන්නේ. ඇත්තටම ඇයි මෙහෙම පරිඝනකය ටික දවසක් යද්දී slow වෙන්නේ?


අපි දන්නේ නැති උනාට පරිඝනකය වැඩ කරද්දී,අන්තර්ජාලය භාවිතා කරද්දී විවිධ ක්‍රම මඟින් පරිඝනකය තුල අනවශ්‍ය වැඩසටහන්,files වගේ දේවල් එකතු වෙනවා. ඉතින් මේවත් පරිඝනකය on කරනවිට ඉබේ ක්‍රියාත්මක වෙන නිසා පරිඝනකයේ මතකයෙන් (RAM) යම් ඉඩක් ලබාගෙන මේ විදියට පරිඝනකය slow වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්ව මඟ හරවා ගෙන ඔබට මුදල් වැයවීමකිනුත් තොරවම ඔබේ පරිඝනකයේ අඩුපාඩු ඔබටම සකස් කරගන්න අවශ්‍ය උපදෙස් කිහිපයක් තමයි මෙහි සඳහන් වෙන්නේ.

1. අනවශ්‍ය මෘදුකාංග,වැඩසටහන් ඉවත් කරන්න.


ගොඩක් අය කරන දෙයක් තමයි තමන්ගේ පරිඝනකයේ වැඩ කරන්න කියලා හිතාගෙන අනවශ්‍ය විදියට විවිධ මෘදුකාංග install කරන එක. නමුත් ඒවායින් වැඩක් ගන්නෙම නැතුව කාලයක් තිස්සේ ඒවා පරිඝනකය තුල තිබෙනවා.උදාහරණයක් විදියට ඔබ MS Office 2010 මෙන්ම 2013 මෘදුකාංගයත් පරිඝනකයේ ස්ථාපනය කර තිබෙනවා. තව සමහර වෙලාවට වෙනත් office මෘදුකාංගයකුත් install කර තිබෙන්න පුළුවන්. නමුත් ඔබ වැඩ ගන්නේ එක මෘදුකාංගයකින් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මොකටද ඔබ අනවශ්‍ය මෘදුකාංග ගණනාවක් පරිඝනකය තුල තබාගන්නේ.
සමහර අය ප්‍රති වෛරස මෘදුකාංගත් කිහිපයක් install කරලා තියාගන්නවා වැඩි ආරක්ෂාවට කියලා.ඇත්තෙන්ම එය කරන්න හොඳ දෙයක් නෙවෙයි.එම නිසා අදම ඔබේ පරිඝනකයේ ඔබ install කර තිබෙන අනවශ්‍ය මෘදුකාංග සියල්ල ඉවත්කර දමන්න. එමෙන්ම ඔබට වීඩියෝ,චිත්‍රපටි,සින්දු නැරඹීමට මෙන්ම ඇසීමට විවිධ මෘදුකාංග කිහිපයක් භාවිතා කරනු වෙනුවට එක් තනි මෘදුකාංගයක් භාවිතා කරන්න.

2. තාවකාලික අනවශ්‍ය files ඉවත් කරන්න.


මේකට windows පරිඝනක වල Disk Cleanup කියන කුඩා වැඩසටහනක් තිබෙනවා. ඔබට එය Disk cleanup ලෙස windows මෙහෙයුම් පද්ධතිය තුල සෙවීමෙන් ලබාගන්න පුළුවන්. මෙහිදී ඔබට පරිඝනකයේ තිබෙන සියලුම partition වල අඩංගු අනවශ්‍ය files ඉවත් කල හැකිය.විශේෂයෙන්ම C partition හි අඩංගු අනවශ්‍ය files ඉවත් කිරීම සිදු කිරීම පරිඝනකයේ වේගය වැඩි කිරීමට හේතු වෙනවා. මෙය කරනවිට ඔබ අනිවාර්යෙන්ම පහත කොටස් කිහිපය tick කර ඒවා ඉවත් කිරීම කරන්නම ඕන.

  • Downloaded Program Files
  • Temporary Internet Files
  • Recycle Bin
  • Temporary Files

3. Disk defragment ක්‍රමය භාවිතා කරන්න.


Disk Cleanup මෙන්ම සතියකට සැරයක් වත් ක්‍රියාත්මක කල යුතු වැඩසටහනක් තමයි මෙම Disk defragment කියලා හඳුන්වන්නේ. මෙයත් windows මෙහෙයුම් පද්ධති තුල තිබෙන වැඩසටහනක් නිසා ඔබට අමුතුවෙන් වෙනත් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මෙමඟින් සිදුවන්නේ පරිඝනකයේ hard disk තුල විවිධ ස්ථාන වල ගබඩා වී තිබෙන විවිධ files ක්‍රමානුකූලව එක් පිළිවෙලකට සකස් කිරීමයි. විවිධ files විවිධ ස්ථාන වල ගබඩා වී තිබෙමෙන් පරිඝනකය slow වීමේ අවධානම මෙමඟින් ඉවත්වී යනවා.


4. Solid State Drive එකක් භාවිතා කරන්න.


පරිඝනක slow වීමට බලපාන, දත්ත සහ තොරතුරු ඉක්මනින් නැවත ලබාගැනීමට නොහැකි උපාංගයක් තමයි සාමාන්‍යය Hard Drives කියලා කියන්නේ.ඉතින් ඔබට හැකි නම් ඒ වෙනුවට ඔබගේ පරිඝනකයේ දත්ත ගබඩා කිරීමට Solid State Drive එකක් භාවිතා කරන්න,එය ඉතා හොඳ ක්‍රමයක් වෙනවා පරිඝනකය වේගවත් වන්න.

Click image to large view

5. ආරම්භක (startup) වැඩසටහන් ප්‍රමාණය අඩු කරන්න.


පරිඝනකය ආරම්භ වනවිටම auto විවෘත වන අනවශ්‍ය වැඩසටහන් සියල්ල එසේ සිදුවීම නවතා දමන්න. එවිට පරිඝනකය ඉක්මනින්ම startup වීම සිදුවේවි. එහෙම නැතිනම් පරිඝනකය වැඩසටහන් startup වීමටත් RAM එකෙන් වැඩි ඉඩක් ලබාගන්නවා.


6. ප්‍රති-වෛරස මෘදුකාංගයක් install කරන්න.



පරිඝනකය තුල අනිවාර්යෙන්ම තිබිය යුතු මෘදුකාංගයක් තමයි ප්‍රති-වෛරස මෘදුකාංග කියලා කියන්නේ. ඒ කියන්නේ Virus Guard එකක්. අන්තර්ජාලය භාවිතයේදී සහ පරිඝනකයට බාහිරින් pen drive වැනි උපාංග සවි කිරීමේදී ඔබේ පරිඝනකයට virus වැනි හානිදායක වැඩසටහන්(malware) ඇතුළු විය හැකිය. ඒවායින් බේරීමට නම් update කරන active ප්‍රති-වෛරස මෘදුකාංගයක් පරිඝනකය තුල ස්ථාපනය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

7. මෙහෙයුම් පද්ධතිය update කරන්න.


මෘදුකාංග නිෂ්පාදන සමාගම් විසින් නිතරම තම මෘදුකාංග වලට නව යාවත්කාලීන කිරීම් එකතු කරනවා. windows වැනි මෙහෙයුම් පද්ධති සඳහාත් updates ලැබෙන නිසා ඔබ හැකි තරම් අවශ්‍ය අලුත් කොටස් එකතුකර update කිරීම කරන්න ඕන.

8. RAM වැඩි කරන්න.


පරිඝණකයක මතක අතර ප්‍රධාන මතකයක් තමයි RAM, එහෙමත් නැති නම් Random Access Memory කියලා කියන්නේ. 1GB, 2GB සහ 4GB ප්‍රමාණ වලින් RAM වර්තමානයේ තිබෙනවා. ඔබේ පරිඝනකයේ RAM එක තවත් ගණනකින් වැඩි කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම පරිඝනකයේ වේගය වැඩි කරගන්න පුළුවන්. ලැප්ටොප් වලට නම් RAM එකක් ඇතුලතින් සවි කරන්න බැරි නම් portable USB RAM එකක් භාවිතා කරන්න පුළුවන්.


9. Restart කරන්න.

පරිඝනකය සමඟ වැඩ කරනවිට පැය කිහිපයකට සැරයක් පරිඝනකය restart කරන්න බලන්න. එය පරිඝනකයේ වේගය වැඩි කිරීමට හේතු වෙනවා. මොකද එමඟින් RAM එක තුල ඇති තාවකාලික files ඉවත්වී ගොස් refresh වීමක් සිදු වෙනවා. ඇත්තෙන්ම පරිඝනක එක්ක වැඩ කරද්දී එක දිගටම වැඩ කරන්නේ නැතුව පරිඝනකය off කර විනාඩි කිහිපයක rest එකක් ලබාදෙන්න හැකි නම් එය පරිඝනකය වේගවත් වීමට මෙන්ම දිගුකාලීන පැවැත්මටද හේතු වෙනවා.

10. පිරිසිදු කරන්න.

ඔබට වුනත් සතුටින් කාර්යක්ෂමව වැඩ කරන්න නම් පිරිසිදුව පිළිවෙලට ඉන්න කැමතියි නේද. අන්න ඒ වගේ තමයි පරිඝනකත්. පරිඝනකය පිරිසිදුව තිබේනම් එහි අභ්‍යන්තර කොටස් කාර්යක්ෂමව වැඩ කරනවා.විශේෂයෙන්ම දූවිලි නිසා පරිඝනකයේ කොටස් වලට හානි සිදුවෙන්න පුළුවන්. එම නිසා ඔබට මාසයකට සැරයක් වත් පරිඝනකයේ සියලුම කොටස් ප්‍රවේශමෙන් ගලවා එකින් එක හොඳින් පිරිසිදු කල හැකි නම් එය පරිඝනකයේ කල් පැවැත්මටද හේතුවක් වෙනවා.

මෙන්න මේ දේවල් කරලා බලන්න,අනිවාර්යෙන්ම ඔබේ පරිඝනකයේ වේගය වැඩි කරගත හැකි මෙන්ම එයට දිගු ආයු කාලයක් පවත්වාගන්නත් හැකියාව ලැබෙනවා.

1 comment

  1. අනේ ඉතින් පැය කිහිපයකට සැරයක් restart කරාම හරියනවයි ������

    ReplyDelete